2012-08-31

ආසියානු ශූරතා දැල්පන්දු අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව-සිංගප්පූරුව

අද දිනන්නෝ 2014 පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලට


පුරා සතියකට ආසන්න කාලයක්‌ (අගෝ. 25-31) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ අටවැනි දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක සිංගප්පූරු ජාතික කණ්‌ඩායම් ඊයේ සුදුසුකම් ලැබූ අතර, අදාළ අවසන් මහ තරගය අද (31 දා) ප.ව. 3.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.


ආසියානු දැල්පන්දු සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ශූරතාව ඉලක්‌ක කොට ගෙන, හොංකොං, ඉන්දියාව, නේපාලය, ජපානය (ඒ කාණ්‌ඩය), සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින, පාකිස්‌තානය සහ බෲනායි (බී කාණ්‌ඩය) තරග වැදුණහ.
අවසන් මහ තරග වරම් ලාභී ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පූර්ව වටයේදී ප්‍රතිවාදී හොංකොං කණ්‌ඩායම ලකුණු 81-38 ක්‌ වශයෙන්ද, ඉන්දියාව 85-29 වශයෙන්ද, නේපාලය 127-03 වශයෙන්ද සහ ජපානය 110-08 වශයෙන්ද පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ඊයේ පැවැති එම වටයේදී ප්‍රතිවාදී මලයාසියාව ලකුණු 67-58 ක්‌ වශයෙන් පරාජය කිරීමට සමත්විය.
තරගාවලියේදී ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්‌ එල්ල වූ එකම තරගයද මෙම තරගය (මලයාසියාව) විය.
අවසන් මහ තරග ශ්‍රී ලංකා ප්‍රතිවාදී සහ බී කාණ්‌ඩ පෙරමුණ ලාභී සිංගප්පූරුව සිය පූර්ව වටයේදී මලයාසියාව ලකුණු 38-34 වශයෙන්ද, මාලදිවයින 82-11 වශයෙන්ද, පාකිස්‌තානය 111-02 වශයෙන්ද සහ බෲනායි 76-18 වශයෙන්ද පරදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එම වටයේදී හොංකොං කණ්‌ඩායම ලකුණු 53-27 වශයෙන් පහසුවෙන්ම පරදා අදාළ අවසන් මහ තරග සුදුසුකම සපුරාලන ලදී.
ආසියානු ශූරතා දැල්පන්දු ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලි හතක්‌ මෙතෙක්‌ පවත්වා ඇති අතර ඉන් තරගාවලි හතරක ශූරතාව දිනා සිටීමේ මානසික ජවය සහ දේශයේ වාසිය මත අද අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කිරීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතියි.
මේ අනුව, අද තරගයේ ජයග්‍රාහී කණ්‌ඩායම, ලබන 2014 වසරේ ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ ආසියානු කණ්‌ඩායම වශයෙන් සුදුසුකම් ලබනු ඇත.
වසර 1985 දී ආරම්භ වූ මෙම ශූරතා තරගාවලිය යටතේ, ශ්‍රී ලංකාව සමාරම්භක අනුශූරියන් වූ අතර, ඉන් අනතුරුව 1989, 1997, 2001 සහ 2009 වසරවලදී අදාළ ශූරතාව දිනා ගන්නා ලදී.

පිබිදීම
මූල්‍යමය සහ පරිපාලනමය දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවැති ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍ෂේත්‍රය එක්‌තැන් කොට, ප්‍රවීණ දැල්පන්දු පරිපාලන නිලධාරිනියක්‌ වන තමාරා ධර්මකීර්ති හේරත් මහත්මියට අදාළ කටයුතු පැවැරීම සහ දැල්පන්දුව ආගාධයෙන් ගොඩ ගැනීමට මූලිකත්වය දුන් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දේශීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රණාමය පිදෙන අතර, දේශීය දැල්පන්දු ක්‍රීඩාව පොහොසත් කිරීම සඳහා මහජන බැංකුව විසින් ලබාදෙන ලද රුපියල් ලක්‍ෂ 230 ක දායකත්වයද ජය පතන ක්‍රීඩා ලෝලී ජනතාව කෘතඥ පූර්වකව අද අත්පොලසන් දෙමින් ඔල්වරසන් හඬ නගනු ඇත.
අවසන් තරග වරම් දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියානු ජාතික සු ගෝඩියන් මහත්මියගේ විශේෂඥ උපදෙස්‌ යටතේ හිටපු ශ්‍රී ලංකා කණ්‌ඩායම් නායිකාවක්‌ වන හයසින්ත් විඡේසිංහ මහත්මිය විසින් පුහුණු කරන ලදී.

'බුරුතු පිටින්' එන්න!
මේ අතර, මෙම තීරණාත්මක අවසන් මහ තරගය නැරඹීම සඳහා 'බුරුතු පිටින්ම' එන්නැයි තරග සංවිධායක ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය දේශීය ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කරයි.

1 comment: