ජගත් ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායකවරයා මෙන්ම වෘත්තීයෙන් ගණකාධිකාරිවරයෙකු වන ලෝගාට් මහතාට අදාළ වේතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ලබන්නේ දින 25 ක කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය සේවය ලබාදෙන නිසාවෙනි. මේ අනුව බලන විට ලෝගාට් මහතාට දිනකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 6 කට ආසන්න මුදලක් වේතන වශයෙන් ලබා දෙනු ඇත.
මෙතරම් විශාල වේතනයක් ලබා ගත් පුද්ගලයකු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ හෝ ශ්‍රී ලංකා ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන් මීට පෙර වාර්තා නොවන අතර ඒ අනුව බලන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වේතනයක් ලබන පුද්ගලයා ලෙස හරූන් ලෝගාට් මහතා ඉතිහාස ගත වනු ඇත.
දකුණු අප්‍රිකානු ජාතික කණ්‌ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කොට ඇති ලෝගාට් මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ භාරගෙන තිබේ. ගරා වැටී ඇතැයි සඳහන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩා සමාජ තරගාවලිය සහ පාසල් ක්‍රිකට් පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම ලෝගාට් මහතාට පැවරී තිබෙන වගකීම් වේ.
හරූන් ලෝගාට් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරකට පැමිණෙන බව ප්‍රථමයෙන්ම හෙළි කරන ලද්දේ 'දිවයින' පුවත්පත විසිනි. 'ක්‍රිකට් පරිපාලන පූර්ණ ප්‍රතිසංවිධානයකට හරූන් ලෝගාට් කැඳවයි' මැයෙන් ඉකුත් ජුලි මස 12 වැනිදා ක්‍රීඩා පිටුවේ එම පුවත පළ කරන ලදී.
ඒ අතර දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය පිළිබඳව වැඩිම අවධානයක් යොමු කරනු ලබන අතර එහිදී මෙතෙක් ක්‍රීඩා සමාජ 20 ක සහභාගිත්වයකින් පැවැති ප්‍රධානම තුන්දින තරගාවලිය කණ්‌ඩායම් 14 දක්‌වා අඩු කිරීම ලෝගාට් මහතා ප්‍රධාන වශයෙන්ම ඉලක්‌ක කරගෙන සිටිනු ලබන බව මේ පිළිබඳව අදහස් දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලයක් දරනු ලබන අයෙක් සඳහන් කර සිටියේය. වැඩි ක්‍රීඩා සමාජ සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම දේශීය ක්‍රිකට් තරගාවලිය ගරා වැටීමට ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර එම තත්ත්වය වෙනස් කරමින් වඩා තරගකාරී මුහුණුවරකින් මෙම තරගාවලිය පැවැත්වීම එම තත්ත්වය මඟ හැරී යැමට ප්‍රධාන ලෙසින් බලපාන බවද නම සඳහන් කිරීමට අකැමැති එම බලධාරියා සඳහන් කර සිටියේය.
මෙහිදී කණ්‌ඩායම් 20 න් 14 ක් පළමු පෙළ තරගාවලියට අයත් වන අතර ඉතිරි කණ්‌ඩායම් 6 දෙවැනි පෙළ තරගාවලිය ලෙසින් සැලකෙන සරා කුසලාන තරගාවලියට දක්‌වා පහත දමනු ලබන බවද එම ගනු ලබන ක්‍රියාමාර්ග අතර ඉහළින්ම සටහන් වී තිබෙන බවද සඳහන් වේ.
එමෙන්ම මේ වන විට ක්‍රීඩා සමාජවල පවතින බලය අහෝසි කරමින් එහි පූර්ණ බලතල පළාත් සංගම්වලට භාරදීමද මෙම වැඩපිළිවෙළට අයත් කොටසක් වී තිබේ. ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන බොහෝ රටවල දේශීය ක්‍රීඩා තරගාවලි දියුණුවට පත්වී තිබෙන්නේ ප්‍රාන්ත තරගාවලි හරහා වන බැවින් එය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට ලෝගාට් මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වේ. මෙම තත්ත්වය මත ක්‍රීඩා සමාජවලට හිමිවී තිබෙන බලය හීනවී යන බැවින් මේ සම්බන්ධව බොහෝ ක්‍රීඩා සමාජ සිය විරෝධතාවය එල්ල කරනු ඇතැයි සඳහන් වේ.
No comments:
Post a Comment