2012-08-29

ලන්ඩන් පැරාලිම්පික්‌ සමාරම්භක උළෙල අද

පදක්‌කම් සටනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4200 ක්‌
ශ්‍රී ලංකාවෙන් 7දෙනෙක්‌
සුසිල් ප්‍රේමලාල් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට


2012 ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල අද (29 දා) රාත්‍රියේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී උත්සවශ්‍රීයෙන් (ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ සමාරම්භය මෙන්) ආරම්භ කිරීමට දැන් සියලු විධි විධාන යොදා ඇත.
ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ අවසන් වී දෙසතියකට පසු පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල පැවැත්වීම පැරාලිම්පික්‌ ක්‍රීඩා සම්ප්‍රාදාය වේ.
ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට පසු 2012 වසරේ එංගලන්තයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල මෙය වන අතර, මෙය සංවිධානය කිරීම සහ ආගන්තුක සත්කාර සඳහා අති විශාල මුදලක්‌ වැය කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත.
පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල එංගලන්තයේ සංවිධානය කරනු ලබන දෙවැනි අවස්‌ථාව මෙය වේ. මීටර පෙර 1984 වසරේදී එංගලනත්ය ප්‍රථම වරට පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ සංවිධානය කර ඇත. මෙවර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල 15 වැනි ක්‍රීඩා උළෙල වේ.


එංගලන්තයේ එළිසබෙත් මහ රැජන විසින් ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල අද විවෘත කරනු ලබන අතර, 1984 පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල විවෘත කරන ලද්දේ චාල්ස්‌ කුමරු විසිනි.

වැඩිම සහභාගිත්වය

මෙවර ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4200 ක්‌ සහභාගිවීමට නියමිතය. එය පැරාලිම්පික්‌ ක්‍රීඩා තරග ඉතිහාසයේ වැඩිම සහභාගිත්වය ලෙසද සඳහන් වේ.

අවසන් වරට 2008 වසරේ චීනයේ පැවැති බෙයිජිං පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සහභාගිවූ පිරිසට වඩා 250 දෙනෙකු වැඩිවී ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

15 වැනි පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සමගාමීව විශේෂ සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වන අතර, වැඩිම රටවල් සහභාගිත්වයද (රටවල් 165) ඒ අතරින් විශේෂත්වයක්‌ ගනී. බෙයිජිං ක්‍රීඩා උළෙල හා සසඳන විට එය රටවල් 19 කින් වැඩි වීමකි. ඒ හැර රටවල් 15 ක්‌ ප්‍රථමවරට ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සහභාගිවීමද කැපී පෙනෙනු ඇත.

ක්‍රීඩා විස්‌සක්‌

ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ ප්‍රකාශිත තරග සටහන අනුව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සංඛ්‍යාව 20 කි.

මනස සෙමෙන් වැඩෙන අය සඳහාද මෙවර තරග ඉසව් 3 ක්‌ (මලල ක්‍රීඩා, පිහිනුම්, මේස පන්දු) ඇතුළත් කිරීමට ලන්ඩන් පැරාලිම්පික්‌ සංවිධානය කමිටුව කාරුණික වීමද විශේෂත්වයකි.

2000 සිඩ්නි පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ප්‍රථම වරට මනස සෙමෙන් වැඩෙන්නන් සඳහා අදාළ ක්‍රීඩා ඉසව් ඇතුළත් කළ නමුදු ඉන් අනතුරුව ඇතැන්ස්‌ (2004) සහ බෙයිජිං (2008) තරග සංවිධායකයන් මනස සෙමෙන් වැඩෙන්නන්ගේ තරග ඉසව් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා සහභාගිත්වය

පැරිලිම්පික්‌ ක්‍රීඩා උළෙලක්‌ සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කරන ලද්දේ 1996 ඇට්‌ලන්ටා පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදීය. එවර එක්‌ ක්‍රීඩකයකු පමණක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, ඉන් අනතුරුව 2000 සිඩ්නි (3 යි), 2004 ඇතැන්ස්‌ (6 යි) 2008 බෙයිජිං (5 යි) ආදී වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කොට ඇත. මෙවර ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා එක්‌ ක්‍රීඩිකාවක සමග ක්‍රීඩකයන් හය දෙනෙකු මලල ක්‍රීඩා සහ මේස පන්දු නියෝජනය කරන අතර, එය ශ්‍රී ලංකා පැරාලිම්පික්‌ ක්‍රීඩා තරග ඉතිහාසයේ වැඩිම සහභාගිත්වය වෙයි.

උපරිම දක්‍ෂතාව

පැරාලිම්පික්‌ ක්‍රීඩා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක්‌ හොඳම දක්‍ෂතාව මෙතෙක්‌ වාර්තා කොට ඇත්තේ 2004 ඇතැන්ස්‌ පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදීය.

චමින්ද ප්‍රියදර්ශන මීටර 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් 4 වැනි ස්‌ථානය එවර දිනා ගැනීමට සමත්වූ අතර, හෙතෙම දණහිසින් පහළ පාදයක්‌ අහිමි කාණ්‌ඩය යටතේ එම දක්‍ෂතාව වාර්තා කොට ඇත.

ක්‍රීඩා ඉසව් 5 කින්
ලෝක පරිසාධනය ඉක්‌මවති

ජාත්‍යන්තර පැරාලිම්පික්‌ කමිටු විසින් ප්‍රකාශයට පත්කොට ඇති ජගත් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 දෙනෙක්‌ මෙවර ජගත් පරිසාධනය ඉක්‌මවාලීමට සමත්වූහ.

දුනු විදීම (2), ඉලක්‌කයට වෙඩි තැබීම (1), සවි එසවීම (1), මලල ක්‍රීඩා (9) සහ ටෙනිස්‌ (2) එම ඉසව් වේ. එහෙත් ශ්‍රී ලංකාවට හිමි වන අවස්‌ථා අනුව (පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල නියෝජනය සඳහා) ක්‍රීඩක සංඛ්‍යාව 7 දක්‌වා අඩු විය.

ක්‍රීඩා ඇමැතිත් ලන්ඩනයේ

ලන්ඩන් පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල නිරීක්‍ෂණය කිරීම සඳහා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා තව දින කීපයකින් ලන්ඩන් නුවරට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පැරාලිම්පික්‌ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ පවසයි.

පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයකු පැමිණීමට අපේක්‍ෂිත ප්‍රථම අවස්‌ථාව මෙය බව පැවැසූ බ්‍රිගේඩියර් වික්‍රමසිංහ එය ක්‍රීඩකයන්ටද ශක්‌තියක්‌ වනු ඇතැයිද පැවැසීය.

No comments:

Post a Comment