2012-08-27

ශ්‍රී ලංකාව ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියටම


කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (25 දා) ඇරඹි 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අඛණ්‌ඩ දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 85-29 ක්‌ ලෙස ඉන්දියාව පරාජයට පත්කිරීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ සමත්විය.

තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් පෙරේදා පැවැති ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගයේදී ලකුණු 81-38 ක ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව ඊයේ ලැබූ පහසු ජයත් සමග පළමු වටයේදී අභියෝගයකින් තොරව ඉදිරියට යන අයුරක්‌ දිස්‌වේ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා නායිකා තර්ජනී සිවලිංගම් ඇයට ලැබුණු පන්දු විදීමේ අවස්‌ථා 55න් 53ක්‌ සාර්ථක කරගනිමින් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස ඇගේ දායකත්වය ඉහළින්ම ලබාදීමට සමත් වූවාය. ජායාරූපයේ දැක්‌වෙන්නේ ඇය ලකුණක්‌ ලබාගත් අවස්‌ථාවකි

No comments:

Post a Comment